පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Wednesday, January 6, 2016

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.


පිහිටීම
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත. මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝමීටර් 5ක් මිරිජ්ජවිල - සූරියවැව මාර්ගයේ ගියවිට උද්‍යානයට ලඟාවිය හැක.

ඉදිකිරීම
2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.

උද්‍යානය ඉදිකිරීමේ අරමුණු
ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම්

  • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
  • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
  • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
  • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
  • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
  • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

විවෘත කිරීම
2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000

























Tuesday, December 29, 2015

සීතාවක උද්භිත උද්‍යානය - Seethawaka Wet Zone Botanic Gardens

සීතාවක උද්භිත උද්‍යානය
අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය 
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Gardens



ආරම්භය
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.


මූලික පරමාර්ථය 
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.

පිහිටීම හා ලඟාවීම 
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.

උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
බෝට්ටු පැදීමට 
දෙදෙනෙකු සඳහා - රුපියල් 200












Wednesday, August 19, 2015

නුවරඑළියේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Nuwara Eliya District - Part II)

2. ලෝකාන්තය

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.

මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.

ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.

අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.

මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි. (More>>)

ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (8)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (9)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (10)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (11)

Tuesday, August 18, 2015

නුවරඑළියේ සංචාරය - පළමු දිගහැරුම (Trip to Nuwara Eliya District - Part I)

1. හෝර්ටන්තැන්න

හෝර්ටන්තැන්න හෙක්‌ටයාර් 3169 ක රමණීය භූමියකි. මෙය නිවර්තන කලාපීය සදාහරිත වර්ෂා කඳුකර වනාන්තර ලක්‍ෂණවලින් හෙබි වනයකි. වසරේ වැඩි කාලයක්‌ ඝන මීදුම, දැඩි සුළඟ මෙන්ම නිරිත සහ ඊසාන වර්ෂාපතනයන්ගෙන් ලැබෙන වර්ෂාව පමණක්‌ නොව උස්‌ බිමක පිහිටීම නිසා අධික හිරු රැස්‌ ලැබීම නිසා මෙම වනයට වළාකුළු වනාන්තර යන අන්වර්ථ නාමයද පටබැඳී ඇත.

හෝර්ටන්තැන්න වළාකුළු වනාන්තර ලෝකයේ ඉපැරැණි වන භූමිවලින් පැවත එන්නකි. වසර මිලියන ගණනාවකට පෙර ලංකාව අයත් භූමිය ඇන්ටාක්‌ටිකාව හා බැඳී තිබිණි. මහාද්වීපික තලවල පාවීම නිසා මේ බිම් කඩ සමකයෙන් උතුරට ගමන්කර ඇත. එහෙත් එය ආසියාව සමග ගැටුනේ නැත. ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය මෙම කඳු මුඳුන්වල මෙතෙක්‌ නොනැසී පවතින්නේ එබැවිනි. වළාකුළු වනාන්තර වැසි ජලය සුරක්‍ෂිත කිරීමටත් වර්ෂාව නිර්මාණය කිරීමටත් දායක වේ. දිවා කල ඉහළ යන ජලවාෂ්ප සහිත උණුසුම් වාතය කඳුකර වනාන්තරවලදී ඝනී භවනය වී වළාකුළු නිර්මාණය කරයි. මේ වළාකුළු ක්‍රමයෙන් විශාලවී සැන්දැවට වැසි ඇතිරයි.

එදා හෝර්ටන්තැන්නේ වූ වළාකුළු වනාන්තරයේ හා තණ බිම්වල අලි ඇතුන් ගැවසී ඇති බව 1800 ගණන්වල ලියෑවී ඇති පොත් පත්වල සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේදී මේ අලි ඇතුන් දඩයම් කරුවන්ගේ ගොදුරු බවට පත්විය. බ්‍රිතාන්‍ය නිලධාරියකු වූ මේජර් තෝමස්‌ රොජර් ෆා නමැත්තා එකල අලි ඇතුන් 1400 කට වැඩි ප්‍රමාණයක්‌ දඩයම් කළ බව පැවැසේ. මෙම නිලධාරියා මියගියේ අකුණු සර වැදීමෙනි. ඔහුගේ සිරුර භූමදානය කර ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය පිටුපස ඇති සුසාන භූමියේය. මේජර් රොර්ජස්‌ගේ සොහොන් කොතද කිහිපවරක්‌ම අකුණු සරට ලක්‌ව තිබේ.

ගල් යුගයේදී ද හෝර්ටන්තැන්නේ මිනිසුන් ජීවත්ව ඇති බවට පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති. යටත්විජිත යුගයට පෙර සිංහල රජවරුද හෝර්ටන්තැන්නේ විසූ වන ජීවීන්ගේ හා වනයේ ආරක්‍ෂාව තහවුරු කළ බවද පැවැසේ. පුරා වෘත්තවලට අනුව රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන දඬු මොනරයෙන් ගොඩබට ස්‌ථානයද හෝර්ටන්තැන්නේ තොටුපල උද්‍යානය අශ්‍රිතව ස්‌ථාපිතව තිබූ බව කියෑවේ.

කෙසේ වෙතත් අද හෝර්ටන්තැන්න අඳුරේ ගොදුරු සොයා යන උරලෑවන්ට, හිමිදිරියේ තැන්නේ සුන්දරත්වයට ජීවය ගෙන දෙන රතුවන් දුඹුරු ගෝනුන්ගේ රාත්‍රි කාලයේ සුදෝ සුදු පුළුන් කුට්‌ටියක්‌ මෙන් දුව පැන යන හාවුන්ගේ, පඳුරු අතරින් පෙනෙන, නොපෙනෙන වැලි මුවන්ගේ, දිවියන්ගේ ගොදුරු බවට පත්වන වළස්‌ වඳුරන් හා දඬු ලේනුන්ගේ නිවහන බවට පත්ව ඇත.

මේ සත්ව ප්‍රජාවට අමතරව හෝර්ටන්තැන්නේ සංචාරය කරන්නන්ට නිරීක්‍ෂණය කළ හැකි වටිනා ශාක ප්‍රජාවන්ද ඇත. කීන, වනසපු, වෙනිවැල්, අලිකන්, වල් තුරුණු, වැලිදඹ, මහරත්මල්, කුරු උණ වන්නාතරයේ ප්‍රධාන ශාකය. හෝර්ටන්තැන්න වන බිමකින් මෙන්ම තැනිතලා සහ කඳු බෑවුම් ආශ්‍රිත තෘණ භූමියකින්ද යුක්‌තය. මේ තෘණ භූමියේ මහතුත්තිරි, ගවරමාන, ගොටුකොළ, බටර්කප්, මහසුදන, කුඩා සුදන, වයිල්ඩ් එවලාස්‌ටින්, වල් ස්‌ට්‍රොaබෙරි, බෝවිටියා, සුදු බිනර, නිල් බිනර මෙන්ම ඉංගී්‍රසීන් 1950 ගණන්වලදී හඳුන්වා දුන් කාපට්‌ ග්‍රාස්‌ නමැති තෘණ වලින්ද යුක්‌තය. හෝර්ටන්තැන්න පුරා සංචාරය කළ අපට මඟ පෙන්වූ වනජීවී නියාමක සුරංග ජයසේකර මෙම ශාක සහ සත්ව ප්‍රජාවන් හඳුනා ගැනීමට අපට විශාල සහායක්‌ දැක්‌වූවේ දැඩි හිතවත් කමකිනි.

ලංකාවේ ප්‍රධාන ගංගාවක්‌ වන මහවැලි, ගංගාවේ මූලාරම්භයද හෝටර්ටන්තැන්නෙන් සිදුවේ. මහවැලි ගඟේ අතු ගංගාවක්‌ වන උමා ඔයේ මූලාරම්භය සිදුවන්නේද තොටුපල කන්දේ නැගෙනහිර බෑවුමෙනි.හෝර්ටන්තැන්නේ දක්‌නට ලැබෙන පක්‍ෂි විශේෂ එකොළහකි. අරංගයා, කැහි බෙල්ලා, මයිල ගොයා, වළිකුකුළා ඒ අතර දැකිය හැකි පක්‍ෂීන්ය. කඟමුව අං කටුස්‌සා, තුරු බෝදිලියා නිතර දැකිය හැකි උරග විශේෂය.

හෝර්ටන්තැන්නට පිවිසෙන බොහෝ දෙනෙකුගේ සිත් ගෙන තිබෙන්නේ කුඩා ලෝකාන්තය සහ මහා ලෝකාන්තයය. ඊට අමතරව බේකර්ස්‌ ඇල්ල හෝර්ටන්තැන්නේ සංචාරකයන්ට චමත්කාර හැඟීම් උපදවන මනරම් දසුනකි.
හෝර්ටන්තැන්නට පැමිණෙන සංචාරකයන්ට ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකර්ස්‌ ඇල්ලට අමතරව චිමිණි පොකුණ, තොටුපල කන්ද, කිරිගල් පොත්ත සහ බෙලිහුල් ඔයද නිරීක්‍ෂණය කළ හැක. හෝර්ටන්තැන්නේ සංචාරක නිවාස දෙකකි. සංචාරක නිවාසවලට අමතරව ආපන ශාලා, තොරතුරු මධ්‍යස්‌ථාන, වාහන අංගයනයන්ද තිබේ. කෙසේ වෙතත් හෝර්ටන්තැන්නට පිවිසෙන ප්‍රධාන මාර්ගය නම් නිසි ලෙස නඩත්තු වී නැති බවද පැහැදිලිවේ. නුවරඑළිය සිට පැමිණෙන මාර්ගය ඉතාමත් අබලන්ව තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ වනෝද්‍යානයට නොපැමිණ අතරමඟදී නැවත හැරී යන බවටද තොරතුරු හෙළිවිය. පවතින විදුලි බලය ප්‍රමාණවත් නොවීම නිසා කුඩා ජල විදුලි බලාගාර තැනීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. වැසිකිළි, විවේක ස්‌ථාන, සැමරුම් අලෙවි සල්, නිරීක්‍ෂණ ස්‌ථාන මෙන්ම පුස්‌තකාල පහසුකම්ද, පැය 24 පුරාම සේවයට කැපව සිටින වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තෘප්තිමත් විය හැකි සේවා පහසුකම්ද සැපයීම කෙරෙහි අවධානය යොමුවිය යුතුමය. (
More>>)

හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)

Related Posts Plugin for WordPress, Blogger...