ගැමි පරිසරයක වැඩෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් එලෙසිනි කතාව තුළට ඇතුලු කරන ලද සුන්දර කතාව, SAM’s STORY. කුඩා ළමයකු තමාගේ සිහින පසුපස දිවයන ආකාරය මනාව නිර්මාණය තුළට කාවද්දා ඇත. SAM’s Story විනාඩි 91ක් තුළ ඔබ ඔවුන් ජීවත්වන පරිසරයට ගෙන යනු ඇත. එම නිසා ඔබ ඒ කතාව නැරඹිය යුතුම වේ. සැමිගේ කතාව බලන්න..
……………………………………………………………………………………………
සැමිගේ කතාව බැලූ බැල්මට ඉතා සරල සිනමා කෘතියකි. එහි අත්දැකීම ක්‍රමයෙන් ගොඩනැගෙනන බරපත ගැටුමක ස්වභාවය හිමිකරගන්නේ නැත. සැමි නම් විරූපී, අහිංසක මිනිසාගේ ජීවිතය මුල, මැද, අග රීතියෙන් ආරම්භක දර්ශනය හැරෙන්නට ඉදිරිපත්වේ. සැමී මුහුණ දෙන අත්දැකීම් ඔහුටම පෞද්ගලික වූවක් සේ ගැනීමට ද අවකාශ තිබේ. සිනමා සෞන්දර්ය භාවිතය ද අත්දැකීම් විසින් ඉල්ලා සිටින ආකාරයෙන්ම සරලය. එහෙත් මේ සරල බව තුළ සැඟව තිබෙන සංකීර්ණතා කෙමෙන් නිරාවරණය වනවිට සැමිගේ කතාව කෙතරම් සංවේදී නිර්මාණයක් ද යන්න ප්‍රත්‍යක්ෂවේ. සැමී බදු පුද්ගලයෝ සමාජයේ කොතෙකුත් සිටිත.
අපි සාමාන්‍ය ජීවිතයේ දී එක බැල්මකින් ඔවුන් මඟ හැර යන්නෙමු. එහෙත් සැමිගේ කතාව අධ්‍යක්ෂ ප්‍රියංකර විතානච්චි සැමි පිළිබඳව එබඳු ප්‍රතිචාරයක් දැක්වීමට අපට ඉඩ නොදේ. ඔහු අපේ අතින් අල්ලා මදකට අප නවතයි. මොහු දෙස මදක් බලන්න. ඔහු කෙරේ කරුණා ඇස දල්වන්න. ඔහු ද ඔබගේම වංශයේ, මනුෂ්‍ය වංශයේ, සාමාජිකයෙකු නොවන්නේ ධ යන පැනය අප හමුවේ තබයි. සැබෑව රූපකාරයෙන් වෙනස් වුව ද මේ සිටින්නේ ද මනුෂයෙකි. සිහින පුරවාගත් අහිංසක හදවතින් යුත් සමාජයේ අනුකම්පාව නොව දයාව අපේක්ෂා කරන හුදෙකලා මනුෂ්‍ය යෙකි. ඔහුට පිහිටවීමට අවශ්‍ය බව දැනෙන තලයකට සිනමාකරු අප රැගෙන යන්නේය. සැමිගේ කතාව ඇතුළාන්තයෙන් අප අත්විදින්නේ ජීවිතයයි. මනුෂ්‍ය ස්වභාවයට උරුම ප්‍රහර්ෂය හා දුක් වේදනාවයි. සිනමාකරු ඉතා දයාර්ද්‍ර ආකාරයකින් මනුෂ්‍ය ස්වභාවයේ මර්මස්ථාන ස්පර්ශ කරයි. මෙහෙයින් සැමිගේ කතාව අප තුළ කඳුලක් ගෙන එයි. සිනමාව යනු මෙය නොවන්නේ ද යන අර්ථ ප්‍රකාශය තුළ අප සිර කරවයි.
සැමිගේ කතාව එක් පුද්ගලයකුට විශේෂ අත්දැකීමක් බවට පත්වන්නට සිනමාකරු ඉඩ නොතබන්නේ ඒ අපගේ ද ජීවිතය පිළිබඳ අර්ථකථනයක් දක්වා ගෙනයිමිනි. සැමී මුහුණ දෙන අත්දැකීම්වල ඇතුළාන්තයට කෙමෙන් පිවිසෙන සිනමාකරු මේ මිනිසාගේ අහිංසක අධ්‍යාත්මය හසුකර ගනී. අපට හමුවන කුඩා සිරිරත්නට තිබෙන්නේ එක් සිහිනයකි. ලොරියක් හිමිකරගැනීමේ අහිංසක සිතිවිල්ලයි. ඔහුට මුදල් සොයා දීමට පොරොන්දුවන කුඩා මිතුරා දියේ ගිලී මිය යයි. මේ ඔහු අත්විදින පළමු මරණයයි. ඉගෙනුමට දක්ෂ නොවන හෙයින් නිවසේ නතරවන්නට ඔහුට සිදුවෙයි. ඔහු මවගේ හුරතලාය. ඔහුට රැකියාවක් ලබාදීමට මවට ලිංගික අල්ලස් දීමට පවා සිදුවේ. ඔටෙල් මහත්මිය සිරිරත්න, සැමී බවට පත් කරයි. සැමි පසුව සෑම් බවට පත්වේ. එම නිවසේදී ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් ලබයි. ලිංගික ඇසුර ඔහුට අප්‍රියයි.
පළමු වැටුපෙන් සොහොයුරාට ගන්නා බැනියම දීමට නොහැකිවේ. හමුදා භටයෙකුවන සොයුරාගේ මරණය ඔහුට අදහාගත නොහැකිය. ඉතා දුක්බරව සොයුරාගේ මළකඳ අතගාමින් “මල්ලියේ උඹට මොකද උනේ“ යන අහිංසක ප්‍රශ්නය නගයි. ඔහු ජීවිතයේ සතුට ලබන්නේ මාකලන්ද නිවසිනි. සැමිගෙ අහිංසක බව ඔහුන්ට විහිළුවක් නොවේ. ඔව්හු සැබවින්ම සැමිට ප්‍රිය කරති. සෙල්වා හා ගෞරී දෙමළ වීම ඔහුට රුස්සන්නේ නැත. සෙල්වාද සිංහල විරෝධී බව පෙනේ. දෙමළ සෙල්වාට එරෙහි වෙනත් සැමී ගෞරීට ප්‍රිය කරයි. එහෙත් මාකලන්ද පුත්‍රයාගේ දෙමළ පෙම්වතියට සැමී කැමති නැත. සිනමාකරු මෙම අවස්ථා ගොඩනගන්නේ බොහෝ පරිස්සමිනි. ඔහුට ජාතිවාදී ගැටුම් පිළිබඳ දේශපාලන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නැ. එහෙත් මේ තිදෙනාගේ විරසකවීම් හා මිත්‍රවීම් මගින් ඔහු මේ නිවසින් බැහැර මහා සමාජයේ හැඩතල පිළිබඳව ද සියුම් ප්‍රකාශයක නිරත වේ. ඒ අප යටිපෙළෙන් උකහාගත යුතු අර්ථ සමුදායයි.
දැල් මාමාගේ මරණය සැමීට ඉවසිය නොහැකිය. ඔහු අහිංසකව විමසන්නේ “ මා මැරුණම කවුද වළලන්නේ“ යනුවෙනි. මාකලන්ද මියයාමත් සමඟ සැමිගේ ජීවිතය බිඳ වැටෙනු පමණක් නොව දෙමළ සේවකයන් හා ගැටුම ද අවසන්වේ. නැවත නිවසට යන සැමිට තිබෙන අලුත් සිහිනය මාකලන්දගේ පුත්‍රයා එවීමට පොරොන්දු වන ලිපියයි. මව මියයයි. සැමි හුදෙකලාවේ. ලිපිය පිළිබඳ අපේක්ෂාව ඔහු ජීවත් කරවයි. ලිපිය ලැබෙන්නේ නැත. එහෙත් ඔහුගේ ස්වාමියා වසර ගණනාවකට පසු ඔහු සොය පැමිණේ. මේ ඔහුගේ නෑසියන්ය. ශමින් සමඟ යාමට පැමිණෙන ලෙස කියන විට සැමී පිළිතුරු දෙන්නේ “දැන් මට ලොරියක් ඕනේ නෑ“ යනුවෙනි. එහෙත් අලුත් සිහිනය ඔහු ඉදිරියේ දිදුලයි. “සැමී දැන් මාමා කෙනෙක්“ මේ ඔහු මාකලන්ද පවුලේ ඥාතියෙකු බව පිළිගැනීමකි. මේ අහිංසක මිනිසා අපේ හදවත දයානුකම්පාවෙන් පුරවන්නේ එලෙසිනි. සැමී ජීවිතය පිළබඳව නගන ප්‍රශ්න කෙතරම් සියුම්ද? මාලුන්ට කෑම දීමට නියෝග කරනවිට ඔහු විමසන්නේ මාලුන්ට කෑම දෙන්නට ටැංකියක් මොකටද? අර එහා ගඟක් තියෙන්නේ“ යනුවෙනි. සැමිගේ හදවත විවර කරන මෙබඳු සියුම් ස්ථානවලින්, සංවාදවලින් සැමිගේ කතාව පොහොසත්ය.
සැමී අප හමුවට එන්නේද සරල රූපයකිනි. එහෙත් එම සරල රූපය අභ්‍යන්තරයේ අර්ථ සමුදායක් සැඟව පවතී. ලිපිය අපේෂාවෙන් සිටින වැඩිහිටි මිනිසාගේ ඇරඹෙන වෘත්තාන්තය අතීතයට පිවිස නැවත වර්තමානය දක්වා අප ගෙන යයි. සිනමාකරුගේ රූපඥානය මේ රූප පද්ධතියෙන් අපූරුවට හෙළිවේ. ඔහු සැමී සෑමවිටම රූපය මධ්‍යයේ ස්ථානගත කරයි. බෙහෙවින් භාවිතාවන මධ්‍යම රූපය තුළ අවට පරිසරය දැකිය හැකියි. බොහෝ විට නිල්වන් ලඳු පෙදෙස් ද නිසලව ගලා බසින ගංගාව ද පසුබිමේ දිස්වේ. මේ පරිසරය ද සැමී මෙන්ම සරලය. නිස්කලංකය. චිත්‍රපටයේ අවසන් රූපය තුළ ද මෝටර් රථයට නගින සැමී සිටින්නේ මධ්‍යම රූපයේ මධ්‍ය කේන්ද්‍රයේය. ඔහු සෙමෙන් ආපසු හැරී අප දෙස ඔහුගේ විසිළු එහෙත් අහිංසක බැල්ම යොමු කරයි. අප හදවත මේ මිනිසා පිළිබඳ දයාවෙන් පිරීතිරෙන්නේ රූපණය පමණටම මේ රූපයේ ප්‍රකාශන ශක්තිය ද නිසයි.
රූපය තුළ ක්‍රියාකාරක අවසන් වුව ද රූපය එක්වර අනෙක් රූපයට ඡේදනය නොවේ. තවත් මද වේලාවක් රඳවා තැබෙන රූපය අප තුළ දැනවූ භාව වඩා තීව්‍ර තලයකට රැගෙන යයි. ක්ෂණික ජේදනය අවමය. වේගී චලන ද අවමය. වර්ණ භාවිතයේ වෙනස්වීම් දැකිය නොහේ. රූප කෝණද බොහෝ සෙයින් සාමාන්‍ය ඇස් මට්ටමේ රඳවා ගැනේ. සැමී ආධ්‍යාත්මික වශයෙන් සසල වන බොහෝ අවස්ථාවල රූපය අවසන් වන්නේ ඉහළ කෝණයකට පිවිසෙමිනි. ඉන් ඔහුගේ අසරණ බව වඩා උද්දීපනය වේ. මේ රූප රිද්මය හා ලය සංස්කරණය විසින් ද ආරක්ෂා කෙරේ. රුවන් කොස්තාගේ රූප නිර්මාණය සැමි පමණටම සියම්ය. භාවාත්මකය.
කිපිතාන් එල්මෝ ගුණරත්නගේ කෘතිය ඇසුරින් රචනා කෙරෙන තිර රචනයේ එක් ගුණයක් වන්නේ සංවාදයි. භාවිත කෙරෙන කෙටි සංවාද බොහොමයක් විවිධ අර්ථ මතු කරයි. විශේෂයෙන්ම නිවස තුළ දෙමළ, සිංහල චරිත විකාශනය කෙරෙන්නේ ඉතා සුපරීක්ෂාකාරීත්වය. සමාජය පිළිබඳව සැමට තිබෙන්නේ ඉතා පටු දැක්මකි. ඔහුගේ ලෝකය පළමුවෙන් මව හා සොයුරාය. ඉන්පසු මේ නිවැසියන්ය. ඉන් ඔබ්බේ ලෝකය ඔහුට විෂය වන්නේ නැත. එහි සිදුවීම ඔහුට තේරෙන්නේ නැත. මේ ස්වභාවය සංවාද මගින්ද ආරක්ෂා නොවූයේ නම් සැමගේ චරිතය බිඳ වැටෙනු නිසැකය. තිර රචනයේ මෙම සියුම් බව මෙන්ම යටිපෙළ උද්ධරණය කෙරෙන රූප පද්ධතියක් ද නිර්මාණයවීම නිසා සැමීගේ කතාව භාවගෝචර චිත්‍රපටයක් බවට පත්වේ.
චිත්‍රපටයේ තවත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන්නේ ලක්ෂ්මන් ජෝශප් ඩී. සේරම්ගේ සංගීතයයි. එය අපූරු සිනමාත්මක සංගීතයකි. මේ සංගීත ඛණ්ඩය භාවාත්මකය. එමෙන්ම චිත්‍රපටය තුළ එය භාවිත කෙරෙන ආකාරය නිසා සිනමාගෝචර බව වඩා උද්දීපනය වේ. චිත්‍රපටය පුරාම සංගීතය ලෙස භාවිත වන්නේ නිහඞතාව හා ස්වාභාවික ශබ්දයි. මේ සැමිගේ අධ්‍යාත්මය හා අප ඝණාරෝපකරවීම සඳහා භාවිත කෙරෙන අපූරු උපක්‍රමයකි.
රූපණය විසින් ද සැමිගේ කතාව ඉහළ තලයකට එයි. කෙටි චරිත සඳහා ද දක්ෂ නළු නිළියන් යොදගැනීම නිසා සමබර තලයක පවතින රූපණ දැකිය හැකියි. සැමි රූපකායෙන් විරූපීය. මේ විරූපී වේශය මතුපිට ආභරණයක් බවට පත් නොවන්නේ ජගත් චමිලගේ ප්‍රතිභාව නිසාය. ඔහු මෙම විරූපී බව තුළ සැඟවෙනු වෙනුවට එය සැමීගේ අභ්‍යන්තරය ප්‍රකාශ කරන මෙවලමක් බවට පත් කරගනී. එවැන්නක් කළහැක්කේ දක්ෂ රූපණවේදියකුට පමණි. සනත් ගුණතිලක ඉතා සැහැල්ලුවෙන් මාකලන්දගේ චරිතය තුළට පිවිසෙයි. මේ මිනිසාගේ සංවේදී හදවත අනාවරණ වන සියුම් රූපණයක නිරත වෙයි. එක් ඉරියව්වකින් හෝ චරිතයේ හැඩය නොබිදෙන පමණට සුපරීක්ෂාකාරීව ගොඩනගන රූපණ විලාසය සියුම් චරිත නිරූපණයේලා මේ නළුවාගේ දක්ෂතා නැවත අප වෙත ගෙන ඒ. මව ලෙස නිල්මිණි බුවණෙක ද කාන්ති ලෙස මැණික් කුරුකුලසූරිය ද පුත්‍රයා ලෙස වතික රුවිනාත් ද දියණිය ලෙස තෙසාරා ජයවර්ධන ද සිනමා කෘතියේ රිද්මය නොබිදෙන ආකාරයෙන් චරති නිරූපණ වල නිරත වෙති. වික්ටර් රාමනායක (විල්බට්), විල්සන් සිරිමාන්න (මුදලාලි), මෙහෙකාරිය (කුසුම් පෙරේරා) පිළිබඳවද අවධානය යොමු කළ යුතු වන්නේ මේ කෙටි චරිත නිරූපණ අසාර්ථක වූයේ නම් චිත්‍රපටයේ රිද්මය බිඳවැටෙන්නට අවකාශ තිබූ නිසාය. හේමන්ත ගමගේ අංග රචනය මෙන්ම වෙලේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණය ද චිත්‍රපටය සඳහා උචිත පසුතලය ලබාදෙයි.
සැමිගේ කතාව ප්‍රියංකර විතානච්චිගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. කුළුදුල් සිනමා කෘතියක ගැබ් විය යුතු නිර්ව්‍යාජ බවින් ද නැවුම් බවින් ද පමණක් නොව දයාර්ද්‍ර ජීවිත දැක්මෙන් ද එය පොහොසත්ය. මේ වෙළෙඳපොළ නොව සිනමා රසිකයාගේ ආස්වාදය හා පරිඥානය අරමුණු කරගත් නිර්මාණයක් බව හඳුනා ගැනීම අසීරු නොවේ. සිනමාකලාවේ පෝෂණය වන්නේ මෙබඳු නිර්මාණ වලිනි.
සැමිගේ කතාව ප්‍රියංකරය
ගාමිණී වේරගම - චිත්‍රපට විචාරය ලංකාදීප
2014 මාර්තු මස 21 සිකුරාදා
……………………………………………………………………………………………
ප්‍රියංකර විතානාච්චි විසින් අධ්‍යක්ෂණය කරල ලද සැමිගේ කතාව මේ දිනවල තිරගත වන්නේ ඒ සඳහා ලැබුණු ඉහළම ගණයේ අන්තර්ජාතික ඇගයීමක්ද මුල් කර ගනිමිනි. එය වූ කලී මෙහි ප්‍රධාන චරිතය රඟපෑ ජගත් චමිල ඒ උදෙසා ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානයට පාත්‍ර වී තිබීමය. යම් චිත්‍රපටයක් තුළින් හොඳම නළුවා ඉස්මතු වීම සමස්ත චිත්‍රපටයම හොඳ කෘතියක් වීමට හේතුවක් නොවන නමුදු හොඳම නළුවෙකුගේ චරිතය වැඩෙනු සඳහා අවශ්‍ය පෝෂණීය පසුබිමක් ඒ තුළ නිතැතින්ම තිබිය යුතු යැයි අපි විශ්වාස කරමු. ඒ අනුව අප ප්‍රියංකර විතානච්චිගේ සැමිගේ කතාව නැරැඹීමට යන්නේ මෙන්න මේ කාරණාවද පෙරදැරි කරගනිමිනි.
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හෝ නාට්‍ය නිර්මාණයක් ගැන කතා කිරීමේදී සමස්තයේ හොඳ නරක අමතක කරවමින් ඇතැම් චරිත නිරූපණයක සුවිශේෂත්වය අපගේ හද රැදුණ අවස්ථා දුලභ නොවේ.
නමුත් මෙකී ක්ෂේත්‍රය තුළ මානුෂික ගුණාංගයන් මුල් කරගනිමින් වීරත්වයට පත්වූ විරූපී චරිත පිළිබඳ මතකයන් අපගේ හද රැදුණ අවස්ථා තිබෙන්නේ අල්ප වශයෙනි.වික්ටර් හියුගෝගේ නවකාතවකින් උපන් නෝත්‍රදාම්හි කුදා නැමැති නව කතාවේ කුදා හැරුන විට රයන්ස් ඩෝටර් චිත්‍රපටයෙහි ජෝන් මිල්ස් රඟන මයිකල්ගේ චරිතයද, බෞද්ධ සාහිත්‍යයට අයත් කුස ජාතකයේ එන කුස රජතුමාගේ චරිතයද සමඟ ස්වයංජාත ටෙලිනාට්‍යෙය් විභූතිරත්න ලෙස ජගත් චමිල විසින් කරනු ලැබූ සම්මානනීය රඟපෑමද, මේ ගැන කතා කරද්දී අපගේ මතකයට නැගෙන චරිතාංගයෝ වෙති.
ඒ ආකාරයට රංගනය අරභයා වූ පූර්ව මතකයන් අවදි කරගනිමින් සැමිගේ කතාව නරඹන්නට වාඩි වුවද, එම චරිත නිරූපණය පමණක් නොව සැමිගේ චරිතයට සමාන්තරව සහ සමානුපාතව ගොඩ නැගෙන අනෙකුත් ශිල්පාංගද හේතු කොටගෙන පූර්ණ නිමාවක් සහිත සිනමා කෘතියක අත්දැකීම විඳ ගන්නට එය අපට ඉඩ සලසා දෙයි.
බාහිර පෙනුමෙන් විචිත්‍ර නොවූවද අභ්‍යන්තරිකව ජීවත් වන අවංක සහ අහිංසක මනු්‍යයෙකුගේ ආත්ම විවරණයක් එකී මනුෂ්‍යත්වය තේරුම් ගෙන එයට ගරු කරන තවත් මනුෂ්‍යයින් කීපදෙනෙකුගේත් දිවි ගමනේ එක් කාලපරිච්ඡේදයක් සැමිගේ කතාව තුළින් පිළිබිඹු කෙරෙයි.
ජීවිතය අරභයා වූ මහා බරපතළ ගැටුම්වලින් තොරවූවද, අප තුළ සියුම් සංවේදනා ජනිත කරවමින් පූර්ණ ධාවන කාලය මුළුල්ලේ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නට අධ්‍යක්ෂකවරයා විසින් දක්වා ඇති ප්‍රතිභාවය සැමිගේ කතාවේ මූලික විශේෂත්වයයි. එවැනි හෘදයාංගම භාවයකින් මෙම චරිතවල ආධ්‍යාත්මයන් ස්පර්ශ කිරීමට ඉඩ සලසා දීම සඳහා අධ්‍යක්ෂකවරයා විසින් පළමු අඩිතාලම දමා ඇත්තේ ඒ සඳහා සුදු රිද්මයක් උපයෝගී කර ගැනීමෙනි. මේ හැරුණු කල සිය කෘතිය උදෙසා ඔහු විසින් භාවිත කරනු ලබන ගම්බද පරිසරයද චිත්‍රපටයට එක් කරනු ලබන්නේ සුන්දරත්වය හා බැඳුනු අර්ථවත් බවකි. වෙනස් ජීවන මච්චම්වල මිනිස් කණ්ඩායම් දෙකක් වෙනුවෙන් වුවද ඔහු මෙහිදී භාවිත කරන්නේ බොහෝ දුරට නොකිළිටි ගම්බද පරිසර පද්ධතියකි.
එබැවින් නිරන්තරයෙන් එය අප තුළ දනවන්නේ මෙම පාත්‍ර වර්ගයාගේ ආධ්‍යාත්මයට යම් සමානකමක් දක්වන්නක් ලෙසිනි. සැමිගේ හාම්පුතා ලවා ඔහුගේ නිවස ඉදිරිපිට පොකුණට මෝටර් බෝට්ටුවක් නොදැම්මුවේ එහෙයින් යැයි අපි කල්පනා කරමු. අපට මෙම මිනිසුන්ගේ ආධ්‍යාත්මයන්ට සවන් දීමට බාධාවක් වන එවැනි බොහෝ කාරණාවලින් සැමිගේ කතාවට බාධාවක් නොකරන්නට අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාච්චි වගබලා ගෙන තිබේ.
ඒ සඳහා ඉතා ක්‍රමවත් ලෙස සැකසුණ තිර නාටකයක් ඔස්සේ තම සිනමා වියමන ඉදිරිපත් කරන හෙතෙම මෑත භාගයේ අන් කිසිම චිත්‍රපටයක නොදුටු තරමේ සියුම් සංස්කරණ රටාවක්ද ඒ සඳහා යොදාගනී. රුවන් කොස්තාගේ විචිත්‍ර සිනමා රුපය වඩාත් අර්ථවත් කරනු පිණිස මෙම සංස්කරණයෙන් ලැබී ඇති දායකත්වය ඉමහත්ය. ස්වාභාවික පරිසරයේ ශබ්ධ අපේ සිතිවිලිවලට බාධා නොකරන්නා සේ මෙහි සංගීතය පවා ඉදිරිපත් කර ඇත්තේ ස්වකීය තේමාවට සරිලන පරිද අත්‍යාවශ්‍යම මොහොතේ බව දැනේ. අනවශ්‍ය ලෙස තද වර්ණ භාවිත නොකරන ලද සිතුවමක් සේ එය අපට සිසිලසක් සලසන්නේ එහෙයිනි.
මෙම සටහන ආරම්භයේදීම අප සඳහන් කළ පරිදි මෙහි සැමිගේ චරිතය රඟන ජගත් චමිල ඉතා මැවින් සිය භූමිකාවේ වගකීම ඉටු කරන බව පැහැදිලිය. මෙහිදී ඔහුට ඒ චරිතය සඳහා ලැබුණ මන්ධබුද්ධික ගති පැවතුම් සහ විරූපී ස්වභාවය ආදී මෙවලම් සිය ප්‍රතිභාවය සමග මැනවින් සංකලනය කරගනිමින් සැමිගේ චරිතය ගොඩනගා ගන්නට සමත් වී තිබේ.
නමුත් සෙසු ලොකු කුඩා චරිත නිරූපණවල යෙදෙන සෙසු නළු නිළියන්ද සිය චරිතවලට සාපේකෂව තම රංගන හැකියාව ප්‍රමාණවත් ලෙස සැමිගේ කතාව සඳහා දායක කර තිබේ. සුළු චරිත නිරූපණවල යෙදෙන වික්ටර් රාමනායක සහ මැණික් කුලකුරුසූරියද සෙසු පාත්‍ර වර්ගයාද, රංගනයේදී සැමිගේ කතාවට කිසිදු බාධාවක් නොකරති. එවැනි ප්‍රතිභාවක් ඔවුන් තුළින් දක්නට නොලැබුණානම් අපට සැමිගේ කතාව ගැන මෙතරම් කතා කරන්නට දෙයක් නොතිබෙන්නට තිබුණි.
සැමිගේ කතාව ගැන කතා කරද්දී එහි අන් සියලු අංගෝපාංගයන් තරමටම කලා අධ්‍යක්ෂණය සිය වේෂ නිරූපණය උදෙසා දක්වා තිබූ සැලකිල්ලද කිසිසේත්ම අමතක කළ නොහැක්කකි. මන්දයත් පසුගිය කාලයේ ගැමි දිවි පෙවෙත අළලා කළ බොහෝ චිත්‍රපට අසාර්ථක වන්නට වේෂ නිරූපණය බලපා තිබු බැවිනි.
ඒ නිසා මෙම සියලු කරාණ අනුව අපට පෙනෙන්නේ “මෙන්න මට එක්තරා අහිංසක අපූරු මිනිසෙකු හමුවුණා. ඔබලාත් ඔහු දෙස බලන්න“ යැයි මෙම සිනමාකරුවා අපට කියන අයුරුය. ඉක්බිති අපට ඒ සඳහා ඉතා පිළිවෙළට සුව පහසුව සන්සුන්ව මේ මිනිසා දෙස බලන්නට සිනමා තිරය කවුළුවක් බවට පත්කර දී තිබේ.
අප සැමි දෙස බලා සිටින්නේ ඒ සුව පහසුව විඳිමිනි. එහෙත් සැමිගේ කතාවට සවන් දීමෙන් අනතුරුව සැමීට තවත් මොනවාදෝ කියන්නට තිබුණාදෝ යැයි හැඟීමක් අප තුළ ඇතිවීම වැළැක්විය නොහැකි යැයි සිතේ. එය හරියටම අර්ථ දක්වන්නට අසීරු බව ඇත්තය. එහෙත් නිශ්චිත ලක්ෂයකට ළඟා වෙන්නට ප්‍රථම ස්තූති කතාව කොට අවසන් කළ සුන්දර මධුපාණෝත්සවයක් පිළිබඳ හැගීම එයට සමාන යැයි සිතේ.
සැමිගේ කතාවට ඇහුම්කන් දෙමු. - සිනමා විචාරය තිස්ස ප්‍රේමසිරි - ලක්බිම
රීගල් - කොළඹ | රීගල් - මීගමුව | රීගල් - මහනුවර | ලිඩෝ - බොරැල්ල | ඕඩියන් - ගල්කිස්ස | ඇමිටි ලයිට් - මහරගම | හිමාලි - කිරිබත්ගොඩ | නයෝමී - ගම්පහ | නිව් ජයලත් - කටුනායක | දුල්මිණි හොරණ | චිත්‍රා - කළුතර | එන් අයි ටී - කුරුණෑගල | එන් අයි ටී - රත්නපුර | එන් අයි ටී - අවිස්සාවේල්ල | විජේන්ද්‍ර - අනුරාධපුර | මිලානෝ - කෑගල්ල | සිනේමාල් - අලව්ව | මහලේකම් - කුලියාපිටිය | ප්‍රින්ස් - ගාල්ල | නිව් සිනමා - මාතර
Sam's Story - සැමිගේ කතාව - Facebook Page
Sam's Story - සැමිගේ කතාව - Facebook Group
Sam's Story - සැමිගේ කතාව - Google +
Sam's Story - සැමිගේ කතාව - Web Site - http://www.samigekathawa.com/
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.